අනුග්රහය: පිස්සාගේ පලා මල්ල....
පුරසඳ අක්කේ,මෙන්න බුලත්විට හිරවෙලා මළ ඩිපෝ කළමණාකරුගේ කතාව.(සියළුම නම් ගම් මනඃකල්පිතයි)
මේක සිද්ධ වුණේ මං 6 වසරෙ ඉඳිද්දි.ගෙදර ඉඳල ඉස්කෝලෙට දුර හැතැප්ම 12යි.බස් එක් යන්න පැයක් යනව.යන්නෙ සීසන් එකට.සීසන් ගන්න කලින් ඉස්කෝලෙන් හැඳුණුම්පතක් හදාගන්න ඕන.මාසයක් ගානෙ ඒක සීසන් භාර ටීචර්ට කියල අත්සන් කරගෙන ඩිපෝ එකට ගිහිල්ල සීසන් ගන්න ඕන.ඉඳල හිට ඉස්කෝලෙටම ඇවිත් සීසන් දෙන වෙලාවලුත් තිබුණ.
සීසන් දෙන තැන සල්ලි පෙට්ටිය භාරව හිටියෙ ඩිපෝ කළමණාකාරතුමෙක්.හැමතිස්සෙම කටේ බුලත් හපයක් ගහගත්තු ගමන්මයි.මිනිහට අපි කිව්වෙ පියදාස මයා කියල.ඒකට හේතුව මිනිහ නිධානයක් රකින නයෙක් වගේ රැකගෙන ඉන්න සල්ලි පෙට්ටියෙ පියදාස මයා කියල පොඩි කොළකෑල්ලක් අලවලා තිබීම.
අපි සීසන් ගන්න ගියාම ඉස්කෝලෙ අයිඩින්ටිය බලන්නෙ එයා තමයි.ටීචර්ගෙ අත්සන පොඩ්ඩක් හරි වෙනස්වෙලා තිබුණොත් සීසන් දෙන්නෙ නෑ.ආපහු හරවල යවනව.ඒ මදිවට අපහාසෙට හිනාවෙනව,හරියට අපි හොර අස්සන් ගහනව කියල හිතල වෙන්නැති.
ඒ කාලෙ පිස්සා ඉතාම නීතිගරුකයි.(දැන් රටේ නීතියක් නැති නිසා ඒ ගැන ගැටළුවක් නෑ)හරියට නියම දිනේට ටීචර්ට කියල අත්සන් අරගෙන සීසන් ගන්නෙ.ඉතින් එහෙවු පිස්සටත් පියදාස මයා නක්කලේ දැම්ම දවසක්.ටීචර්ගෙ අත්සන පේන්නෙ නැතිලු.සීසන් එක දුන්නෙත් නැහැ.
ඒ දවස්වල පිස්සගෙ ළඟ තිබුණු වටිනාම වස්තු වලින් එකක් තමයි සීසන් එක.පිස්සා දුවල දුවල ගිහිල්ල සීසන් භාර ටීචර්ට අවනඩුව කිව්ව.ටීචර් උදාසීන විදිහට ඈණුමක් ඇරල අර අත්සන උඩින්ම ආයෙත් අත්සන් කරල දුන්න.දැන් ඉතින් කණෙකුට උණත් ඒ අස්සන පේනව.
ඒක දැකපු ගමන්ම පියදාස මයා පරළ උණා.හතරට ගණින්න බැරුව වගේ ඉන්න ඇඹිටිල්ලන් කොල්ලෙක් අස්සන උඩින් ආයෙ කුරුටුගාලලු.දැන් කාලෙ ඉස්කෝලෙ යන කොල්ලන්ගෙ සදාචාරෙ පිරිහිලාලු.මුන් දැන්මම ආණ්ඩුමට්ටු කලේ නැත්නම් ගෙවල් මංකොල්ල කාවිලු.කොයි කොයි ලොකු හොරාත් හොරකම පටන්ගන්නෙ පුංචියටලු.අයිඩින්ටිය කෙලින්ම ප්රින්සිපල්ට යවනවලු.සීසන් එකත් ප්රින්සිපල්ගෙන්ම ඉල්ලගන් කිව්ව.
අහස කඩාවැටුණ වගේ පිස්සට දැනුණ.පිස්ස ගෙදර ගියේ අඬාගෙන.ප්රින්සිපල් හරිවැරදි හොයන්නෙ දඬුවම් කරල ඉවරවෙල.
පිස්සගෙ අම්ම ඔළුව අතගාල පිස්සව සැනසුව.පහුවෙන්ද තාත්ත අවිත් ප්රින්සිපල් හම්බවෙලා ප්රශ්ණෙ විසඳල දුන්න.ඒත් සාධාරණ හේතුවක් නැතුව පුංවි එකෙක් ප්රසිද්ධියෙ බැණුම් අහපු එක?
ඔයසිද්ධිය වෙලා මාස 4-5ක් ගතවුණා.පියදාස මයාගෙ ගෙදර තිබුණෙ පිස්සාගෙ ගෙදර ඉඳලා ඉස්කෝලෙට යන පාරෙ අතරමැද හරියෙ.පියදාස මයාගෙ කොලු ගැටවු දෙන්නෙකුත් පිස්සා යන බස් එකේම යනව හැමදාම උදේට.ඒත් කවදාවත් සීසන් එක පෙන්නනව වත් ටිකට් එකක් ගන්නව වත් දැකල නෑ.ලොකු මහත්තුරුන්ගෙ ළමයි නෙව.ඒත් උන් දෙන්නගෙ එහෙමකට ලොකු කමක් පේන්න තිබුණෙනෑ.(පුංචි එවුන් හැමෝම එක වගේ බව පිස්සා අදටත් විශ්වාස කරනව.උන්ගෙ හිත මොනවත්ම නොලියවුණු පිරිසිදු සුදු කඩදාසියක් වගේ.ඉරිසියාව,කුහකකම,චංචාව ඒ කඩදාසියෙ ලියන්නෙ සමාජය විසින්.)හිනාවෙච්ච ගමන්මයි හැමතිස්සෙම.උන් දෙන්න බස් එකට නග්ගවන්නෙ හැමදාම උදේට පියදාස මයා මයි.
දවසක් උදේ බස් එකේ යනකොට අර කොල්ලො දෙන්න බස් එකට නැග්ගෙ නෑ.හවස ගෙදර යනකොට පියදාස මයාගෙ ගෙදර සුදු කොඩියක් දාල තියෙනව දැක්ක.පහුවෙන්ද තමයි විස්තරේ දැනගත්තෙ.උදේ පාන්දර බුලත් විටක් හපන්න ගිහින් කැස්සක් හැදිල,හිරවෙලා පියදාස මයා මැරුණලු.ඉස්පිරිතාලෙකට වත් ගෙනියන්න වෙලා නැහැ.(පොළවෙ තියන පිදුරු කෑල්ලට ගිණි ඇවිලිලා හුළඟට ගිහින් අහසෙ පියාසර කරමින් හිටිය කපුටා පිච්චිලා මැරුණු කතාව පිස්සට මතක්වුණා.)
දවස් දෙක තුනකට පස්සෙ අර පුංචි ඈයින් දෙන්න උදේ බස් එකට ගොඩවුණා.එදා උන් දෙන්න බස් එකට ගෙනත් ඇරලුවෙ ගෑණු කෙනෙක්(අම්ම වෙන්න ඇති).උන් දෙන්නගෙ මූණු තෝන්තු වෙලා තිබුණ.
ටිකක් දැනුම් තේරුම් ඇති වයසකට ආවම පිස්ස ඔය සිද්ධිය ආපස්සට කල්පනා කරල බැලුව.
අවබෝධ වුණේ එකම දෙයයි.අපි හැමෝම කොච්චර නැටුවත් ස්වභාවධර්මයේ නීතියට යටත්.දැන් පිස්සා අවනත වෙන්නෙ ඔය නීතියට විතරයි.
706 - දිඹුලාගල මතක සටහන්...A Walk Down Memory Lane...
-
සුමනේ වමේ..සේපාල දකුණේ....පහුගිය බෘහස්පතින්දා මාතලේ මළගෙදරක ගියා..අපේ
ප්රියම්බිකා තොමෝගෙ ලොකුම ලොකු අම්මගෙ බාලම බාල පුතාගෙ භාර්යාවගෙ
අම්මා..අවුරුදු සීයකුත...
1 day ago