Wednesday, May 19, 2010

අපි කිව්වයැ කර ගන්න කියලා...





මේක අපූරු කතාවක් .. මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් ලංකාවෙ වෙයි කියලා..


අද මම කොල්ලුපිටියෙන් බස් එකට නැංගා.. ඔෆිස් ඇරෙන වෙලාවට ඉතිං බස් වල ආසවාදය කියන්න ඕනෙ නැහැනෙ.. ඔන්න මම හිටගෙන සීට් ඇඳි දෙකක අල්ල ගන්න තරම් දහිරිය උපදවා ගත්තා.. බම්බ කිට්ටු වෙද්දි මාස තුනක විතර දරු ගැබක් දරා ගත්ත අවුරුදු 25ක විතර ලස්සන දැරිවියක් බස් එකට නැංගා.. ටිකක් විතර වැස්සත් තිබුණා..
අර "ගැබිණි" සීට් එකේ මුමුණ මුමුණා හිටියා අවුරුදු 35 රේන්ජ් එකේ මහත්තුරු දෙන්නෙක්.. ඔයාලා දැකලා ඇති අර ආචාර පෙළපාලි වල හමුදා භට ඛණ්ඩ ජනාදිපති තුමා ළඟින් යද්දි එක පාරටම බෙල්ල කරකවලා එතුමා දිහාවට හැරෙන්නෙ..අන්න ඒ වගේ දෙන්නම එක සැරේ ජනෙල් වීදුරුව හරහා වැස්ස නරඹන්න පටන් ගත්තා.. මේක ඇය දැක්කා.. ඈට හිනාවක් ගියා...
 
ඒත් මට තේරුණා ඇය ටිකක් අපහසුවෙන් ඉන්න කෙනෙක් බව... ඒත් එක්කම සීට් දෙකක් විතර පස්සෙ කෙනෙක් බහින්න නැගිට්ටා.. ඒ සීට් එක ඈට අල්ල දෙන්න හිතාගෙන මං ටිකක් ඒ පැත්තට හැරුණා.. මං ළඟම හිටිය මැදි වියේ කාන්තාවක් මං ඉඳගන්නවා කියලා ඉස්සර උනා.. ඔය අතරෙ ඇය ගල්කිස්ස උසාවිය ළඟට ටිකට් ගත්තා..


කතාවේ වටිනම වාක්‍යය මට ඇහෙන්නෙ මේ අතරෙ.. මං ළඟ හිටියා කාන්තාවන් දෙදෙනෙක් වාඩි වෙලා.. අවුරුදු 30 ක සහ 40ක වගේ.. කතාවෙන් පෙනෙන්නෙ කුළුපග පුන්චි අම්ම කෙනෙක් එක්ක යන දුවෙක් වගේ.. පුන්චි අම්මා ඇගේ ඥාති දියණියට කණට කරලා කිව්වා "කර ගන්න කියලා අපි කිව්වයැ" කියල...
ඥාති දියණියගෙ උත්තරේ උනේ "අපෝ මමනම් බඳින්නෙ නැහැ" කියලා.. මට කියන්න හිතුනා "උඹ විතරක් නෙවෙයි උඹෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් උඹ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ කියලා"..


කොහොම හරි ගල්කිස්ස උසාවියට බස් හෝල්ට් එකක් කළින් අර ඥාති දියණිය කරුණාබර දෑසින් අර ගැබ්බර දැරිවි දිහා බලලා "ඔයා ප්‍රෙග්නන්ට් ද?" කියලා ඇහුවා.. නැගිට්ටා... සීට් එක දුන්නා..

"තෑන්ක් යූ.. මම උසාවිය ළඟ බහිනවා" ඇය කිව්වා..

"කමක් නැහැ ඉඳ ගන්න.. අපිත් ළඟ බහිනවා" ඥාති දියණිය නෙගෝෂියේට් කළා..

ඔවුන් තුන් දෙනාම බස් එකෙන් බැහැලා ගියා..

මට හිතෙනවා මම තාම බස් එකේ යනවද කියලා...

හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.................

Tuesday, May 11, 2010

ඉංදියන් බස් ටිකට්...



මට මේ අද ගාලු පාරෙ ගාටන බස් එකක ටිකට් එක ඇඟිල්ලෙ රෝල් කර කර ඉන්දැද්දි හදිස්සියේ මතක් උනා ඉන්දියාවෙ බස් ටිකට් ගැන.. ඔය ඉහළ පිංතූරෙ තියෙන්නෙ බස් ටිකට් එකක්. මේකෙ සයිස් එක කියනවානම් අඟල් 3-4 ක් විතර දිගයි.. අඟලක් විතර පළලයි... ටිකක් හොඳට බැලුවොත් තේරෙයි පුංචි උනාට තොරතුරු ගොඩක් තියන විත්තිය..


කාටත් තේරෙනවා ඇති මේක රුපියල් 100 ටිකට් එකක් කියලා.. දුර ගමන් බස් එකක..මං ට්‍රයි කළා ලෝකල් එකක් ඩවුන් ලෝඩ් කර ගන්න වැඩේ හරි ගියේ නැහැ...

ටිකට් එකක් කිව්වට හරියට කේන්දරේ කොටු වගේ නේද? ඔය වටේට තියන ඉලක්කම් වලින් කියන්නෙ බස් එකට ගොඩ වෙච්ච හෝල්ට් එකයි බහින හෝල්ට් එකයි..ඒ කියන්නෙ ගමනාරම්භය එක හැටියට ගනන් ගන්නෙ.. වම් පැත්තෙ එන ට්‍රිප් එක.. දකුණු පැත්තෙ යන ට්‍රිප් එක.. පටන් ගත්ත තැනයි අවසාන වෙන තැනයි පන්ච් කරලා දෙනවා.. මේක රජයේ බස් එකක ටිකට් එකක්..
මේ වගේ ටිකට් 100ක් එකට තියලා ගහන ස්ටේප්ලර් කට්ට පේනවාන් නේද?

පුද්ගලික බස් වල කතාව මීට වඩා වෙනස්.. ටිකට් එක මේකෙම ආකෘතියක්.. රජයේ බස් වලට ප්‍රමිතියක් තිබුනට මේවයෙ ප්‍රමිතිය අඩුයි.. හුඟක් බස් ටිකට් ගහලා තියෙන්නෙ අහක දාන හෑන්ඩ් බිල් වල පිට පැත්ත..

මේ බස් ටිකට් විකුණන්න තියෙන්නෙ පාර අයිනෙ තියන බුලත් විට කඩවල.. (සමහර විට දැන් වෙනස්ද දන්නෙ නැහැ. මොකද ඉංදියාව කියන්නෙ සීග්‍රයෙන් සංවර්දනය වෙන රටක්) ඒවා ටික මේ වගේ පුවරුවක ලස්සනට තියාගෙන තමයි ටිකට් කඩන්නෙ.

ටිකට් ඉවර උනාම කොන්දොස්තර හෝල්ට් එකක බැහැලා දුවගෙන ගිහිං අරගෙන එනවා..
මාරයි නේද?

Saturday, May 1, 2010

හිවැනැ... සිතාසියක් ඇවිත්..

මේක මං අහපු කතාවක්.. අපේ අංකල් කෙනෙක් නුවර-කටුගස්තොට ප්‍රදාන පාරෙන් හැරිලා මාවිල්මඩ කියන පළාතට මෝටර් බයිසිකලේක නැගලා යද්දි වෙච්ච වැඩක්..

ඕක අතුරු පාරක් නිසා ට්‍රැෆික් මාමලා එහෙමත් නැහැ.. ඉතිං මේ අංකල්ගෙ බයිසිකලේ ඉස්සරහට මාවිල්මඩ බස් එක ඇවිත් තියනවා අනපේක්ශිත විදියට.. අංකල් බයිසිකලේ කැපුව පාර කෙළින්ම කාණුවට තමයි ලෑන්ඩ් කරලා තියෙන්නෙ.. අංකල් ට සිහි නැති උනා ලු...

ඉතිං කවුරු හරි සත් ගුණවත් මහත්තයෙක් ඉස්පිරිතාලෙට ගිහින් දාලා...
දැං ඔන්න ගෙදර කට්ටිය තෙල් බෙහෙත් පවා කරලා සනීප කරගෙන රස්සාවට යන්න පටන් ගත්තයි කියමුකො.. ඔය, සිද්දියෙන් මාස 3 කට විතර පස්සෙ.. දවසක් ගෙදර එද්දි සිතාසියක් ඇවිත්. හෙතුව කියන තැන "හිවැනැ" කියලා තියනවලු... පස්සෙ හොයලා බැලින්නං "හිස් වැසුම් නැතිව පැදවීම" කියන එක තමයි ඒ තිබිලා තියෙන්නෙ...
 
වෙලා තියෙන්නෙ මේකයි... අනතුර වෙච්චි තැනට ඉස්සෙල්ලාම ළඟා වෙලා තියෙන්නෙ ට්‍රැෆික් පොලිස් මහත්තයෙක්.. ඒ වෙද්දි කවුදෝ හෙල්මට් එක ගලවලා ප්‍රථමාදාර දීලා.. මුළින්ම දුටු දර්ශනයේදි හිස් වැසුම නැතිව දැක්ක නිසා, නඩුවක් නොදමාත් හොඳ නැති නිසා.. "හිවැනැ" කියලා නඩුවක් දාලා..


මං හිතන්නෙ අංකල් දවස් කීපයක්ම උසාවි බඩ ගෑවා මේ අවුල ලිහා ගන්න.. නිකම්ම නෙවෙයි ක්‍රචර්ස් ආධාරයෙන්..

Friday, April 23, 2010

බුලත්විට හිරවෙලා මළ ඩිපෝ කළමණාකරුගේ කතාව

අනුග්‍රහය: පිස්සාගේ පලා මල්ල....


පුරසඳ අක්කේ,මෙන්න බුලත්විට හිරවෙලා මළ ඩිපෝ කළමණාකරුගේ කතාව.(සියළුම නම් ගම් මනඃකල්පිතයි)




මේක සිද්ධ වුණේ මං 6 වසරෙ ඉඳිද්දි.ගෙදර ඉඳල ඉස්කෝලෙට දුර හැතැප්ම 12යි.බස් එක් යන්න පැයක් යනව.‍යන්නෙ සීසන් එකට.සීසන් ගන්න කලින් ඉස්කෝලෙන් හැඳුණුම්පතක් හදාගන්න ඕන.මාසයක් ගානෙ ඒක සීසන් භාර ටීචර්ට කියල අත්සන් කරගෙන ඩිපෝ එකට ගිහිල්ල සීසන් ගන්න ඕන.ඉඳල හිට ඉස්කෝලෙටම ඇවිත් සීසන් දෙන වෙලාවලුත් තිබුණ.

සීසන් දෙන තැන සල්ලි පෙට්ටිය භාරව හිටියෙ ඩිපෝ කළමණාකාරතුමෙක්.හැමතිස්සෙම කටේ බුලත් හපයක් ගහගත්තු ගමන්මයි.මිනිහට අපි කිව්වෙ පියදාස මයා කියල.ඒකට හේතුව මිනිහ නිධානයක් රකින නයෙක් වගේ රැකගෙන ඉන්න සල්ලි‍ පෙට්ටියෙ පියදාස මයා කියල පොඩි කොළකෑල්ලක් අලවලා තිබීම.


අපි සීසන් ගන්න ගියාම ඉස්කෝලෙ අයිඩින්ටිය බලන්නෙ එයා තමයි.ටීචර්ගෙ අත්සන පොඩ්ඩක් හරි වෙනස්වෙලා තිබුණොත් සීසන් දෙන්නෙ නෑ.ආපහු හරවල යවනව.ඒ මදිවට අපහාසෙට හිනාවෙනව,හරියට අපි හොර අස්සන් ගහනව කියල හිතල වෙන්නැති.

ඒ කාලෙ පිස්සා ඉතාම නීතිගරුකයි.(දැන් රටේ නීතියක් නැති නිසා ඒ ගැන ගැටළුවක් නෑ)හරියට නියම දිනේට ටීචර්ට කියල අත්සන් අරගෙන සීසන් ගන්නෙ.ඉතින් එහෙවු පිස්සටත් පියදාස මයා නක්කලේ දැම්ම දවසක්.ටීචර්ගෙ අත්සන පේන්නෙ නැතිලු.සීසන් එක දුන්නෙත් නැහැ.

ඒ දවස්වල පිස්සගෙ ළඟ තිබුණු වටිනාම වස්තු වලින් එකක් තමයි සීසන් එක.පිස්සා දුවල දුවල ගිහිල්ල සීසන් භාර ටීචර්ට අවනඩුව කිව්ව.ටීචර් උදාසීන විදිහට ඈණුමක් ඇරල අර අත්සන උඩින්ම ආයෙත් අත්සන් කරල දුන්න.දැන් ඉතින් කණෙකුට උණත් ඒ අස්සන පේනව.

ඒක දැකපු ගමන්ම පියදාස මයා පරළ උණා.හතරට ගණින්න බැරුව වගේ ඉන්න ඇඹිටිල්ලන් කොල්ලෙක් අස්සන උඩින් ආයෙ කුරුටුගාලලු.දැන් කාලෙ ඉස්කෝලෙ යන කොල්ලන්ගෙ සදාචාරෙ පිරිහිලාලු.මුන් දැන්මම ආණ්ඩුමට්ටු කලේ නැත්නම් ගෙවල් මංකොල්ල කාවිලු.කොයි කොයි ලොකු හොරාත් හොරකම පටන්ගන්නෙ පුංචියටලු.අයිඩින්ටිය කෙලින්ම ප්‍රින්සිපල්ට යවනවලු.සීසන් එකත් ප්‍රින්සිපල්ගෙන්ම ඉල්ලගන් කිව්ව.

අහස කඩාවැටුණ වගේ පිස්සට දැනුණ.පිස්ස ගෙදර ගියේ අඬාගෙන.ප්‍රින්සිපල් හරිවැරදි හොයන්නෙ දඬුවම් කරල ඉවරවෙල.

පිස්සගෙ අම්ම ඔළුව අතගාල පිස්සව සැනසුව.පහුවෙන්ද තාත්ත අවිත් ප්‍රින්සිපල් හම්බවෙලා ප්‍රශ්ණෙ විසඳල දුන්න.ඒත් සාධාරණ හේතුවක් නැතුව පුංවි එකෙක් ප්‍රසිද්ධියෙ බැණුම් අහපු එක?

ඔයසිද්ධිය වෙලා මාස 4-5ක් ගතවුණා.පියදාස මයාගෙ ගෙදර තිබුණෙ පිස්සාගෙ ගෙදර ඉඳලා ඉස්කෝලෙට යන පාරෙ අතරමැද හරියෙ.පියදාස මයාගෙ කොලු ගැටවු දෙන්නෙකුත් පිස්සා යන බස් එකේම යනව හැමදාම උදේට.ඒත් කවදාවත් සීසන් එක පෙන්නනව වත් ටිකට් එකක් ගන්නව වත් දැකල නෑ.ලොකු මහත්තුරුන්ගෙ ළමයි නෙව.ඒත් උන් දෙන්නගෙ එහෙමකට ලොකු කමක් පේන්න තිබුණෙනෑ.(පුංචි එවුන් හැමෝම එක වගේ බව පිස්සා අදටත් විශ්වාස කරනව.උන්ගෙ හිත මොනවත්ම නොලියවුණු පිරිසිදු සුදු කඩදාසියක් වගේ.ඉරිසියාව,කුහකකම,චංචාව ඒ කඩදාසියෙ ලියන්නෙ සමාජය විසින්.)හිනාවෙච්ච ගමන්මයි හැමතිස්සෙම.උන් දෙන්න බස් එකට නග්ගවන්නෙ හැමදාම උදේට පියදාස මයා මයි.

දවසක් උදේ බස් එකේ යනකොට අර කොල්ලො දෙන්න බස් එකට නැග්ගෙ නෑ.හවස ගෙදර යනකොට පියදාස මයාගෙ ගෙදර සුදු කොඩියක් දාල තියෙනව දැක්ක.පහුවෙන්ද තමයි විස්තරේ දැනගත්තෙ.උදේ පාන්දර බුලත් විටක් හපන්න ගිහින් කැස්සක් හැදිල,හිරවෙලා පියදාස මයා මැරුණලු.ඉස්පිරිතාලෙකට වත් ගෙනියන්න වෙලා නැහැ.(පොළවෙ තියන පිදුරු කෑල්ලට ගිණි ඇවිලිලා හුළඟට ගිහින් අහසෙ පියාසර කරමින් හිටිය කපුටා පිච්චිලා මැරුණු කතාව පිස්සට මතක්වුණා.)

දවස් දෙක තුනකට පස්සෙ අර පුංචි ඈයින් දෙන්න උදේ බස් එකට ගොඩවුණා.එදා උන් දෙන්න බස් එකට ගෙනත් ඇරලුවෙ ගෑණු කෙනෙක්(අම්ම වෙන්න ඇති).උන් දෙන්නගෙ මූණු තෝන්තු වෙලා තිබුණ.

ටිකක් දැනුම් තේරුම් ඇති වයසකට ආවම පිස්ස ඔය සිද්ධිය ආපස්සට කල්පනා කරල බැලුව.


අවබෝධ වුණේ එකම දෙයයි.අපි හැමෝම කොච්චර නැටුවත් ස්වභාවධර්මයේ නීතියට යටත්.දැන් පිස්සා අවනත වෙන්නෙ ඔය නීතියට විතරයි.

Thursday, April 22, 2010

ඉන්දියන් ස්කූල් බස්....

ඉන්දියාවෙ තට්ටු තට්ටු බස් වගේම, මේ බස් එකත් අපූරු බස් එකක්.. මේක ස්කූල් බස් එක..


නව දිල්ල්ලි නුවර උදෑසන දර්ශන අතර හරිම සුලභ දසුනක් මේක.. ඕනෑම පටු පාරක ගිහින් ගෙදර දොරකඩින්ම මගියාව නග්ග ගන්නවා.. හුඩ් රැක් එකට බෑග් එක දානවා.. දොර වහනවා.. රියදුරා විසින් පැදගෙන යනවා..

මේ ක්‍රමයට ප්‍රවාහනය කරන්නේ කුඩාම වයසේ පාසල් දරුවන්.. මං දැකලා තියන විදියට කිලෝ මීටර් 2ක් විතර දුරක් මෙහෙම යනවා..
 
මේ නම් ඉස්කෝලෙ ඇරිලා යාලුවෝ එකතු වෙනකම් කරන දඟ වැඩක්..
පෙට්‍රල් වියදමක් නැති නිසා බස් ගාස්තුව අඩුයි.. මොකද කොන්දොස්තර කෙනෙකුත් නැති නිසා.. එයාගෙ පඩියත් නැහැ.. එතකොට රියදුරාගෙ මහන්සිය සහ මේන්ටනන්ස් විතරයි.. ගාස්තුව මාසිකව ගෙවන්නෙ.. වාහනය පොඩි නිසා අම්මලාට යන්න බැහැනෙ..


මං හිතන්නෙ පොඩි උන් විනෝදෙන් යනවා.. මොකද? ඉස්කෝලෙදි ඉගන ගත්ත සින්දු එහෙම කිය කිය, ටටා කියකිය පාරෙ ඉන්න අයට කොලොප්පන් කර කර.. තමයි යන්නෙ..

මට නම් මේ දසුන හරියට මල් වෑන් එකක් දකිනවා වගේ..

Tuesday, April 20, 2010

බස් කතා බස්, බස් ගැනම තේමාගත වීම...

"බස් කතා බස්" අඩවිය බස් අත්දැකීම් ගැනම කතා බහක් බව නමින්ම තේරෙනවනෙ.. හුඟක් විට ඊළඟ පෝස්ට් එක දාන්න කලින් හිට්ස් 1000 ඉක්මවාවි..   (සතියක් තුළ, මොකද හිට් කවුන්ටරයට වයස සතියයි ) .. ඉතින් මේ කතා බස් එකට ගොඩ වෙච්ච ඔයාලා හැමෝටම ස්තූතියි..
ඔයාල ගෙ ප්‍රතිචාර ඇත්තටම මාව දිරිමත් කළා.. සෑහෙන කාලයක් ලියන එක නවත්තලයි තිබුණෙ.. මොකද කියවලා "හොඳයි" කියනවා මිසක් විවේචකයෝ නැති නිසා..

ඔයාලා හැමෝගෙන්ම ලැබිච්ච මිත්‍රශීලී කමෙන්ට්ස් වලටත් මාත් එක්ක ගොඩ නගපු සංවාද වලටත් ස්තූතියි!!!

මට ලැබුණු රසවත් කමෙන්ට් එකක් තමයි.. "ඔයාට මානසික ලෙඩක් තියනවාද බස් අල්ලගෙන නටන්න" කියන එක...ඇනොනිමස් නිසා නමින් අමතන්න විදියක් නැහැ... ඒ කියමන මාව දිරිමත් කළා මොකටද දන්නවද?
තවත් තේමා ගත වෙච්චි අඩවියක් පටන් ගන්න...
 

Sunday, April 18, 2010

රට රට වල බස් කොන්දොස්තර වරු... ( Google images search)

මේ වගේ පිංතූර ටිකක් එකට තියලා ඔයාලත් එක්ක බලන එක රසවත් කියලා හිතුණා.. මේ මගේ බස් කතාවේ සිත් ගත් ම චරිතය.. බස් කොන්දොස්තර..



Sri Lanka