Friday, April 23, 2010

බුලත්විට හිරවෙලා මළ ඩිපෝ කළමණාකරුගේ කතාව

අනුග්‍රහය: පිස්සාගේ පලා මල්ල....


පුරසඳ අක්කේ,මෙන්න බුලත්විට හිරවෙලා මළ ඩිපෝ කළමණාකරුගේ කතාව.(සියළුම නම් ගම් මනඃකල්පිතයි)




මේක සිද්ධ වුණේ මං 6 වසරෙ ඉඳිද්දි.ගෙදර ඉඳල ඉස්කෝලෙට දුර හැතැප්ම 12යි.බස් එක් යන්න පැයක් යනව.‍යන්නෙ සීසන් එකට.සීසන් ගන්න කලින් ඉස්කෝලෙන් හැඳුණුම්පතක් හදාගන්න ඕන.මාසයක් ගානෙ ඒක සීසන් භාර ටීචර්ට කියල අත්සන් කරගෙන ඩිපෝ එකට ගිහිල්ල සීසන් ගන්න ඕන.ඉඳල හිට ඉස්කෝලෙටම ඇවිත් සීසන් දෙන වෙලාවලුත් තිබුණ.

සීසන් දෙන තැන සල්ලි පෙට්ටිය භාරව හිටියෙ ඩිපෝ කළමණාකාරතුමෙක්.හැමතිස්සෙම කටේ බුලත් හපයක් ගහගත්තු ගමන්මයි.මිනිහට අපි කිව්වෙ පියදාස මයා කියල.ඒකට හේතුව මිනිහ නිධානයක් රකින නයෙක් වගේ රැකගෙන ඉන්න සල්ලි‍ පෙට්ටියෙ පියදාස මයා කියල පොඩි කොළකෑල්ලක් අලවලා තිබීම.


අපි සීසන් ගන්න ගියාම ඉස්කෝලෙ අයිඩින්ටිය බලන්නෙ එයා තමයි.ටීචර්ගෙ අත්සන පොඩ්ඩක් හරි වෙනස්වෙලා තිබුණොත් සීසන් දෙන්නෙ නෑ.ආපහු හරවල යවනව.ඒ මදිවට අපහාසෙට හිනාවෙනව,හරියට අපි හොර අස්සන් ගහනව කියල හිතල වෙන්නැති.

ඒ කාලෙ පිස්සා ඉතාම නීතිගරුකයි.(දැන් රටේ නීතියක් නැති නිසා ඒ ගැන ගැටළුවක් නෑ)හරියට නියම දිනේට ටීචර්ට කියල අත්සන් අරගෙන සීසන් ගන්නෙ.ඉතින් එහෙවු පිස්සටත් පියදාස මයා නක්කලේ දැම්ම දවසක්.ටීචර්ගෙ අත්සන පේන්නෙ නැතිලු.සීසන් එක දුන්නෙත් නැහැ.

ඒ දවස්වල පිස්සගෙ ළඟ තිබුණු වටිනාම වස්තු වලින් එකක් තමයි සීසන් එක.පිස්සා දුවල දුවල ගිහිල්ල සීසන් භාර ටීචර්ට අවනඩුව කිව්ව.ටීචර් උදාසීන විදිහට ඈණුමක් ඇරල අර අත්සන උඩින්ම ආයෙත් අත්සන් කරල දුන්න.දැන් ඉතින් කණෙකුට උණත් ඒ අස්සන පේනව.

ඒක දැකපු ගමන්ම පියදාස මයා පරළ උණා.හතරට ගණින්න බැරුව වගේ ඉන්න ඇඹිටිල්ලන් කොල්ලෙක් අස්සන උඩින් ආයෙ කුරුටුගාලලු.දැන් කාලෙ ඉස්කෝලෙ යන කොල්ලන්ගෙ සදාචාරෙ පිරිහිලාලු.මුන් දැන්මම ආණ්ඩුමට්ටු කලේ නැත්නම් ගෙවල් මංකොල්ල කාවිලු.කොයි කොයි ලොකු හොරාත් හොරකම පටන්ගන්නෙ පුංචියටලු.අයිඩින්ටිය කෙලින්ම ප්‍රින්සිපල්ට යවනවලු.සීසන් එකත් ප්‍රින්සිපල්ගෙන්ම ඉල්ලගන් කිව්ව.

අහස කඩාවැටුණ වගේ පිස්සට දැනුණ.පිස්ස ගෙදර ගියේ අඬාගෙන.ප්‍රින්සිපල් හරිවැරදි හොයන්නෙ දඬුවම් කරල ඉවරවෙල.

පිස්සගෙ අම්ම ඔළුව අතගාල පිස්සව සැනසුව.පහුවෙන්ද තාත්ත අවිත් ප්‍රින්සිපල් හම්බවෙලා ප්‍රශ්ණෙ විසඳල දුන්න.ඒත් සාධාරණ හේතුවක් නැතුව පුංවි එකෙක් ප්‍රසිද්ධියෙ බැණුම් අහපු එක?

ඔයසිද්ධිය වෙලා මාස 4-5ක් ගතවුණා.පියදාස මයාගෙ ගෙදර තිබුණෙ පිස්සාගෙ ගෙදර ඉඳලා ඉස්කෝලෙට යන පාරෙ අතරමැද හරියෙ.පියදාස මයාගෙ කොලු ගැටවු දෙන්නෙකුත් පිස්සා යන බස් එකේම යනව හැමදාම උදේට.ඒත් කවදාවත් සීසන් එක පෙන්නනව වත් ටිකට් එකක් ගන්නව වත් දැකල නෑ.ලොකු මහත්තුරුන්ගෙ ළමයි නෙව.ඒත් උන් දෙන්නගෙ එහෙමකට ලොකු කමක් පේන්න තිබුණෙනෑ.(පුංචි එවුන් හැමෝම එක වගේ බව පිස්සා අදටත් විශ්වාස කරනව.උන්ගෙ හිත මොනවත්ම නොලියවුණු පිරිසිදු සුදු කඩදාසියක් වගේ.ඉරිසියාව,කුහකකම,චංචාව ඒ කඩදාසියෙ ලියන්නෙ සමාජය විසින්.)හිනාවෙච්ච ගමන්මයි හැමතිස්සෙම.උන් දෙන්න බස් එකට නග්ගවන්නෙ හැමදාම උදේට පියදාස මයා මයි.

දවසක් උදේ බස් එකේ යනකොට අර කොල්ලො දෙන්න බස් එකට නැග්ගෙ නෑ.හවස ගෙදර යනකොට පියදාස මයාගෙ ගෙදර සුදු කොඩියක් දාල තියෙනව දැක්ක.පහුවෙන්ද තමයි විස්තරේ දැනගත්තෙ.උදේ පාන්දර බුලත් විටක් හපන්න ගිහින් කැස්සක් හැදිල,හිරවෙලා පියදාස මයා මැරුණලු.ඉස්පිරිතාලෙකට වත් ගෙනියන්න වෙලා නැහැ.(පොළවෙ තියන පිදුරු කෑල්ලට ගිණි ඇවිලිලා හුළඟට ගිහින් අහසෙ පියාසර කරමින් හිටිය කපුටා පිච්චිලා මැරුණු කතාව පිස්සට මතක්වුණා.)

දවස් දෙක තුනකට පස්සෙ අර පුංචි ඈයින් දෙන්න උදේ බස් එකට ගොඩවුණා.එදා උන් දෙන්න බස් එකට ගෙනත් ඇරලුවෙ ගෑණු කෙනෙක්(අම්ම වෙන්න ඇති).උන් දෙන්නගෙ මූණු තෝන්තු වෙලා තිබුණ.

ටිකක් දැනුම් තේරුම් ඇති වයසකට ආවම පිස්ස ඔය සිද්ධිය ආපස්සට කල්පනා කරල බැලුව.


අවබෝධ වුණේ එකම දෙයයි.අපි හැමෝම කොච්චර නැටුවත් ස්වභාවධර්මයේ නීතියට යටත්.දැන් පිස්සා අවනත වෙන්නෙ ඔය නීතියට විතරයි.

Thursday, April 22, 2010

ඉන්දියන් ස්කූල් බස්....

ඉන්දියාවෙ තට්ටු තට්ටු බස් වගේම, මේ බස් එකත් අපූරු බස් එකක්.. මේක ස්කූල් බස් එක..


නව දිල්ල්ලි නුවර උදෑසන දර්ශන අතර හරිම සුලභ දසුනක් මේක.. ඕනෑම පටු පාරක ගිහින් ගෙදර දොරකඩින්ම මගියාව නග්ග ගන්නවා.. හුඩ් රැක් එකට බෑග් එක දානවා.. දොර වහනවා.. රියදුරා විසින් පැදගෙන යනවා..

මේ ක්‍රමයට ප්‍රවාහනය කරන්නේ කුඩාම වයසේ පාසල් දරුවන්.. මං දැකලා තියන විදියට කිලෝ මීටර් 2ක් විතර දුරක් මෙහෙම යනවා..
 
මේ නම් ඉස්කෝලෙ ඇරිලා යාලුවෝ එකතු වෙනකම් කරන දඟ වැඩක්..
පෙට්‍රල් වියදමක් නැති නිසා බස් ගාස්තුව අඩුයි.. මොකද කොන්දොස්තර කෙනෙකුත් නැති නිසා.. එයාගෙ පඩියත් නැහැ.. එතකොට රියදුරාගෙ මහන්සිය සහ මේන්ටනන්ස් විතරයි.. ගාස්තුව මාසිකව ගෙවන්නෙ.. වාහනය පොඩි නිසා අම්මලාට යන්න බැහැනෙ..


මං හිතන්නෙ පොඩි උන් විනෝදෙන් යනවා.. මොකද? ඉස්කෝලෙදි ඉගන ගත්ත සින්දු එහෙම කිය කිය, ටටා කියකිය පාරෙ ඉන්න අයට කොලොප්පන් කර කර.. තමයි යන්නෙ..

මට නම් මේ දසුන හරියට මල් වෑන් එකක් දකිනවා වගේ..

Tuesday, April 20, 2010

බස් කතා බස්, බස් ගැනම තේමාගත වීම...

"බස් කතා බස්" අඩවිය බස් අත්දැකීම් ගැනම කතා බහක් බව නමින්ම තේරෙනවනෙ.. හුඟක් විට ඊළඟ පෝස්ට් එක දාන්න කලින් හිට්ස් 1000 ඉක්මවාවි..   (සතියක් තුළ, මොකද හිට් කවුන්ටරයට වයස සතියයි ) .. ඉතින් මේ කතා බස් එකට ගොඩ වෙච්ච ඔයාලා හැමෝටම ස්තූතියි..
ඔයාල ගෙ ප්‍රතිචාර ඇත්තටම මාව දිරිමත් කළා.. සෑහෙන කාලයක් ලියන එක නවත්තලයි තිබුණෙ.. මොකද කියවලා "හොඳයි" කියනවා මිසක් විවේචකයෝ නැති නිසා..

ඔයාලා හැමෝගෙන්ම ලැබිච්ච මිත්‍රශීලී කමෙන්ට්ස් වලටත් මාත් එක්ක ගොඩ නගපු සංවාද වලටත් ස්තූතියි!!!

මට ලැබුණු රසවත් කමෙන්ට් එකක් තමයි.. "ඔයාට මානසික ලෙඩක් තියනවාද බස් අල්ලගෙන නටන්න" කියන එක...ඇනොනිමස් නිසා නමින් අමතන්න විදියක් නැහැ... ඒ කියමන මාව දිරිමත් කළා මොකටද දන්නවද?
තවත් තේමා ගත වෙච්චි අඩවියක් පටන් ගන්න...
 

Sunday, April 18, 2010

රට රට වල බස් කොන්දොස්තර වරු... ( Google images search)

මේ වගේ පිංතූර ටිකක් එකට තියලා ඔයාලත් එක්ක බලන එක රසවත් කියලා හිතුණා.. මේ මගේ බස් කතාවේ සිත් ගත් ම චරිතය.. බස් කොන්දොස්තර..



Sri Lanka

Friday, April 16, 2010

"ගැබිණි මව සම්පතකි.. මෙම අසුන ඇයට පිරිනමන්න" : ආසන කෝටා ක්‍රමය..

බස් පෝලිමේ මුලින් සිට 25 වෙනියට නැංගා කිව්වාම මටත් හිතුනෙ ඇයි හැබෑට බස් වල කෝටා එකක් දෙන්න බැරි.. පූජ්‍ය පක්ෂයට, ආබාධිතයන්ට වගේ ආසන වෙන් කරලා තියනවනෙ..ඉතින් සේවා වලටත් දෙන්න පුළුවන්නෙ ආසන 4ක් වගේ.. 6ක් උනත් කමක් නැහැ..


ඉංදියාවෙ බස් වල පිටිපස්සෙ දොරෙන් නැංගාම වම් අත පැත්තෙ ඉස්සරහාම යුගල ආසන 5 ක් කාන්තාවන්ට වෙන් කරලා තියනවා.. කාන්තාවන් නැතිනම් හෝ අන්‍යොන්‍ය අවබෝදය මත එහි පිරිමින් ඉඳ ගන්නවා.. ඒත් ඕනෙම වෙලාවක කාන්තාවකට පිරිමියෙක් නැගිට්ටවලා ඉඳගන්න අයිතියක් තියනවා...
 
එතකොට ඕනෙම කොට්ටාසයකට අයිති කාන්තාවන් ඒ සීට් කීපය මැනේජ් කර ගන්න ඕනෙ..


ඉතින් ඒ වගේ පොලිසි හමුදා වැනි සේවා වල අයටත් කෝටා එකක් දුන්නා නම් හරි..

බස් පෝළිමේ වර්ධනය..

මැතිවරණයට පිංසිද්ද වෙන්න ලැබුණ දිගම දිග අවුරුදු නිවාඩුව ඔන්න අද ඉඳලා ඉවර වෙන්න පටන් ගන්නවා.. නුවර ඉන්ටසිටි බස් පෝලිම ගැන ඉතිං හිතා ගන්න පුළුවන්නෙ? හිස තෙල් ගාලා නාල කාල කට්ටිය දවල් එක වෙද්දි පෝලිමට එක් වෙන්න පටන් ගත්තා.. අපි යනකොටත් බස් දෙකකට විතර සෙනග.. මං අද දැකපු දෙයක් තමයි හෙට අනිද්දා සෙනග වැඩිවෙයි කියලා හිතන වයසක අය, බබාලා වඩා ගත්ත අය, බබාලා හම්බ වෙන්න ඉන්න අය අද හුඟක් පෝලිමේ හිටියා..
කොහොම හරි පැය බාගයක් විතර යනකොට පෝලිමේ මුල පස් දෙනා අතරට ආවා කියමුකෝ.... ඒ අතරෙ යන්න සූදානම් වෙච්චි බස් එක ජම්පින් සීට් වලට ලාහෙට ගෙම්බො ඇහිඳිනවා..


ඒ අතරෙ ඔයාලම මේක ටිකක් හිතලා බලන්න... පෝලිමකට අලුතෙන් එක් වෙන කෙනා  කොහාටද එකතු වෙන්නෙ කියලා... ලෝක සම්මතය පෝලිමේ අගටනෙ... මෙතන ඊට වැඩියෙ වෙනස් ක්‍රමයක් හොයාගෙන.. අර ලාහෙට ගෙම්බො හොටන බස් එකට ඉස්සෙල්ලාම මේ දැන් ආව කෙනා නගිනවා...
ඊට පස්සෙ ඒක ඇතුලෙ ටිකක් කැරකි කැරකි ඉඳලා බහිනවා..කාලාන්තරයක් පෝලිමේ හිටපු බස් අයිති කාරයෙක් වගේ ඊට පස්සෙ මුළටම ඉන්න කෙනාටත් ඉදිරියෙන් පෝලිමට එකතු වෙනවා.. අර මං මුලින් කිව්ව අමාරුවෙන් ඉන්න කොට්ටාසෙ අය ආයෙත් රැල්ල ගහනවා වගේ පස්සට යනවා..හැබැයි ඔය පෝලිං පනින ගොඩක් අය කකුල් දෙකටම කලිසන් ඇඳ ගත්ත.. අවුරුදු 35-45 අතර පිරිමි..
අද වගේ දවසක ඒකෙ සාදාරණත්වය ටිකක් හිතලා බලන්න...


ඔය අතරෙ අවුරුදු 80ක විතර රෝගියෙක් එක්ක ඒ රෝගියාගෙ දුවයි, බෑණයි මිනිබිරියි මයෙ හිතේ.. බස් පෝලිමට එද්දිම කාගෙවත් අබමල් රේණුවක අහිතක් නැතුව එයාලට ඊළඟ බස් එකට ගොඩ වෙන්න අවස්තාව ලැබුණා.. ඔය අතරෙ ඊළඟ බස් එක එන අල්ල පනල්ලෙ එයාලගෙ පවුලෙ කෙනෙක් විදියට රඟපාමින් හැඩි දැඩි පිරිමියෙකුත් බස් එකට නැංගා.. ඔන්න ඉතිං රටට ගිය කල..

ඉතිං අර පස් වෙනියට හිටිය මං බස් එකට නැංගෙ 15 වෙනියට විතර..

Wednesday, April 14, 2010

මං අදක්ෂ වඩුවෙක්...

හමදාම මං වඩු වැඩක් කරන්න ගිහිං බ්ලොග් එකේ කේස් දා ගන්නවා... හිට්ස් වැටෙද්දි කමෙන්ට්ස් නැත්තෙ මොකද බැලින්නං ඊමේල් ඇඩ්‍රස් එකේ අකුරක් වෙනස් වෙලා... වඩු වැඩකදි වැරදි තැනකට ඇණයක් ගහලා...

සමා වෙන්න ඕනෙ!!!

Tuesday, April 13, 2010

සුභම සුභ නව වසරක් වේවා!!!

සාමය සතුට රජයන,


අදහස් ඉතිරෙන...

එකිනෙකාගේ සැනසුම සුසුම දැනෙන..

සුභම සුභ නව වසරක් වේවා!!!

ඉන්දියානු බස් කතා..බිහාරයේ තට්ටු තට්ටු බස්...

ඉන්දියාවෙ රජයෙන් දීපු ස්ටුඩන්ට් වීසා එකට පිංසිද්ද වෙන්න මං වැඩියෙන්ම එන්ජෝයි කරපු දේ තමයි ට්‍රැවලින්.. ඒ ආසාවට පිංසිද්ද වෙන්න මට හත් වතාවක් බුද්ධගයාව වඳින්න වාසනාව ලැබුණා..


ඉතිං මේ කියන බස් ජාතිය මං දැක්කෙ බිහාර් ප්‍රාන්තයෙ.. උත්තර ප්‍රදේශයෙත් තිබුණා...ඔය පිංතූරෙ තියෙන්නෙ හිංදි චිත්‍රපටියක දර්ශන තලයක් එහෙම නෙවෙයි..
ඔන්න ඔය වගේ වාහන සංචාරක වාහනයක යද්දි මං දැක්කෙ මෙහෙමයි.. මේ පිංතූර මම බාගත කළ ඒවා..
මේ බස් වල ටැරිෆ් එක.. එහෙම නැත්නම් ටිකට් මිල අපේ බස් වලට වැඩියෙ වෙනස්..
මේ බස් වල ඇතුලේ ඉඳගෙන යන්න රුපියල් 6යි.. ඇතුලේ හිටගෙන යන්න රු.4යි. වහල උඩ ඉඳගෙන යන්න රු.2යි.
වහල උඩ ගමනාන්තය වෙද්දි වෙනම සමාජයක් ගොඩ නැගිලා.. යාලුවෝ ඇති වෙලා..සමහර වෙලාවට හිර ගනු දෙනු පවා තීන්දු වෙලා..
 
මට මේක අත්දකින්න බැරි වුන එක ගැන මම අදටත් දුක් වෙනවා..

නගරාන්තර බස් වල ආලෝක පරිපාලනය...

මේක හරි අපූරු සංවිධානාත්මක වැඩක්.. හරියට කේමදාස මාස්ටර් ගෙ ඔපෙරාවක වගේ.. මං මේක නිරීක්ශණය කළේ ගාලු පාරෙ දුවන බස් වල.. අපිට අංග දෙකකින් සලකා බලන්න පුළුවන්.. එකක් ස්වභාවික හිරු එළිය කළමණාකරණය අනිත් එක රාත්‍රියට ලයිට් එළිය කළමණාකරණය..
පළමු එක සිම්පල්.. හිරු එලිය වලක්වන්න වගේම උදේට වැඩට හරි පංති හරි යන නංගිලා මල්ලිලා සඳහා අහු මුළු සපයා දෙන්න තමයි ඔච්චර වියදම් කරලා තිර රෙදි දාලා දීල තියෙන්නෙ. ඊට අමතරව උපන් දා සිට දිය නොදුටු මේ තිර රෙදි, අසළ හිඳ ගන්නා මගීන් නිතැතින්ම ගමනාන්තය දක්වා කිසිම කරදරයක් නොකර නිද්‍රාවට පත් වීම අනිත් අරමුණයි..
ඔය අතරෙ හිමීට ඒසී එක අඩු කරළා ෆෑන් එක විතරක් දාලා ලංකාවෙ බලශක්තිය ඉතිරි කරන වැඩ පිළිවෙලේ කොටස් කරුවන් වෙන්නත් මේ නොසේදූ තිර රෙදි උදව් වෙනවා.

හොඳයි... දෙවෙනි ක්‍රමය.. රාත්‍රී කාළයේදී ආලෝක කළමණාකරණය.. මෙම කටයුත්තෙහි නිපුණ ශිල්පීන් අතින්මයි ටිකට් නැතුව ගමන් ගාස්තු එකතු කිරීම වගේ කටයුතු සිද්ද වෙන්නෙත්..බස් එක ජපානෙන් එද්දි තිබ්බ ලයිට් වෙනුවට මල්වත්ත පාරෙන් ගත් ස්පොට් ලයිට් මේ කර්තව්ය සඳහා යොදා ගන්නවා..
සරච්චන්ද්‍ර මහත්තයගෙ මනමේ එකේ වගේ කතා නායක නායිකාවන් වෙත තමයි මේ ස්පොට් ලයිට් එල්ල කරලා දවාලෙන්ම ෆික්ස් කරලා තියෙන්නෙ.. ඉතින් ඒ ඒ මුළු වලට ස්ථාන ගත වෙන කුරුළු ජෝඩු වලට පොඩි සයිකොලොජිකල් අල්ලසක් දෙනවා.. ඔවුනට එකිනෙකා පෙනෙද්දි ඔවුන් දකිනවා අවට ලෝකය ඔවුනට නොපෙනෙන බව... මේ තත්ත්වය ඔවුන් වාසි ලෙසට හරවලා අවට ලෝකයට ඔවුන් නොපෙනෙන බව හිතේ දාරණය කර ගන්නවා..

ඔන්න නාට්‍යය පටන් ගන්නවා..
ටාසන් බප්පා පසුබිම් සංගීතය දෙනවා.. මේ අතරේ කොන්දොස්තර මල්ලි රුපියල් 5 ක් ඉතුරු දෙන්නෙත් රුපියල ගානෙ පස් සැරේකට.. පස් වතාවෙම පස්ස ආසන වෙත යද්දි අර දවාලෙ එජස්ට් කරපු ස්පොට් ලයිට් ගැන සැලකිළිමත්...

ගමේ ටීටර් කාලෙ ඉස්සරහා සීට් එක අල්ල ගන්න පොර කනවා වගේ කුරුළු ජෝඩු ඉන්න පැත්තෙ සීට් අල්ලන් හිටගෙන යන්න ඕන තරම් සෙනග.. ඒ අය තමන් ළඟ හිස් වෙන ආසන බලෙන්ම කාන්තා පක්ෂයට ලබා දෙනවා..
ඉතිං ඕකයි තත්වෙ.. ඔයාලා ටිකක් අධ්‍යනය කරලා බලන්න බොරුද කියලා.. මේක මං දැක්ක ඇත්තම ඇත්තක්...

මගට බැස්සහම අපි දිහා කී දෙනෙක් නං බලාන ඉන්නවද? කීදෙනෙක් හිතා මතා ම අපේ වීක් පොයින්ට් ලෝඅකෙට පෙනෙන්න සලස්සනවද? අනේ අනිච්චං....

Monday, April 12, 2010

බස් ගාස්තුව හෙට්ටු කිරීම..

අනුරාධ ගෙ ආරාධනා ව නිසා ආයෙත් බස් එක පාරට දාන්න හිතුනා...


මේ ළඟදි දවසක (ළඟදි කිව්වට ටිකක් කල්), මං වැඩට යන්න ගල්කිස්සෙන් බස් එකට නැංගා.. ඒක ඒසී එකක්.. ගල්කිස්ස කොල්ලුපිටිය ටිකට් එකේ මිල තීරනය කරන්නේ කොන්දොස්තර ඒ වෙලාවටයි.. ඒක 35 සිට 50 දක්වා වෙනස් වෙනවා..

ඔය අතරෙ අර කඩදාසි රෝල දාල තියන මැසිම කොන්දා ගෙන් කොන්දාට කස්ටමයිස් කරලයි තියෙන්නෙ.. මොකද ? සමහර එවයේ කොල්ලුපිටිය කියලා සෙක්ෂන් එකක් නැහැ.. වෙලාවකට හිතෙනවා ඔය මැෂිමෙ GPS (Geographical positioning system) එකකුත් තියනවාද කියලා.. මොකද සමහර ඒවයේ ගල්කිස්ස පහු කරලා සෑහෙන දුරක් යනකං රත්මලාන කියලා වැටෙනවා.. කියන්න බැහැනෙ condemn වෙන GPSඔය මැෂින් වලට හයි කරල, චන්ද්‍රිකා ආදාරයෙන් ඉන්න තැන තීරණය කරණවාද කියලා...

ඉතිං මගේම survey අධාරයෙන් මං හොයා ගත්ත දෙයක් තමයි හරි ගාන 40 කියන එක...

ඉතිං ඔන්න මම 50 කොලයක් දුන්නා.. සමහර වෙලාවට හොඳ බයිට් මූඩ් අහු වෙනවා.. ඒකට ටිකක් විතර තරහාව කළවම් උනාම ගානයි..එදා ඒ වගෙ දවසක්..


මං ඉතින් 50 කොලේ දීලා 10ක් ආපහු දෙනකං බලාන ඉන්නවා... අසුරු සැණකින් කොන්දාට මේක අමතක වෙනවා.. මං එයා දිහාම බලාගෙන ඉන්නවා.. ඔන්න ටික වෙලාවකින් දෙහිවල හංදිය පාස් කරද්දි මං හිමීට "ඉතුරු සල්ලි" කියලා කිව්වා...
 
දැන් ඔන්න කළුතර ඉඳන්ම පිලිවෙලට තියාගෙන ආව සල්ලි මිටිය නැවත ඇඟිලි දෙක අතරේ හුරතල් කරන්න පටන් ගත්තා.. වෙළඳ ඇමති තුමා තෙල් මිල බස්සන්න කල්පනා කරනවා වගෙ කල්පනා කරලා කරලා "පහක් දෙන්න" කියලා ගැහෙන හදවතකින් කිව්වා..
 
"හතළිහක් ගන්න මොකටද පහක්?" .
 
මං දිහා ප්‍රශ්නාර්තයකින් බැලුව කොන්දා මගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා..


"බම්බලපිටියට ගාන කීයද?"

"දන්නෑ"

"එතකොට කොටුවට?"

"ඒත් දන්නෑ"

"දන්නෑ... හහ්" කොන්දා මිමිණුවා..

"දන්නෑ තමයි.. මං බස් කොන්දොස්තර කෙනෙක් නෙවෙයි නෙ" මං හරවා පහරක් එල්ල කළා..
 
ඔන්න කොන්දා කතා නැතුව 10ක් ම ආපහු දෙද්දිම වගේ මට බස් එක මැද හරියී සීට් එකක් හම්බුනා.. දැන් මං ඉඳගෙන.. ඊට පස්සෙ තමයි කතාව පටන ගන්නෙ..
 
බස් එක සෑහෙන්න හිස් නිසා කොන්දා අමුතු ප්‍රබෝදයකින් සුරුවම් බාමින් විටින් විට සින්දු කියනවා.. ඇස් කොනින් බලනවා.. මාර ගටක් අරගෙන..
 
ඔය මූඩ් එකෙන්ම කොල්ලුපිටි හන්දියට අව්වා කියමුකො.. කොන්දා ට නං ෆුල් ආතල්.. මං කෝකටත් කියලා 5හෙ කාසියක් අතට ගත්තා.. මං බහින්න එනකොටම කොන්දාගෙ පාදය ආචාර පෙළපාලියකදි වගේ ටිකක් ඉස්සුනා...(පොඩි කාලෙ වෙට්ටු දාන්න වගේ )
 
හ්ම්ම්.. මං නැවතුනා..
 
කොන්දාගෙයි මගෙයි නෙතට නෙත හමු වුනා.. මං ඉස්සර උනා..


"ආ.. මේක තියා ගන්න"

"ඇ..ඇයි මිස්"

"සෑහෙන්න මහන්සි උනානෙ"

"නෑ මිස්.. හතළිහ හරි"

"නෑ.. නෑ.. බස් ගස්තුව හැටියට නෙවෙයි.. පිනට දුන්න කියලා හිතාගෙනයි දෙන්නෙ.. ගන්න" කියන ගමන් මං කොන්දා අතේ කාසිය තිබ්බා..තියන ගමන් බස් එකන් බැස්සා..
 
බස් එකේ හිටිය කාන්තාවන්ට මේ සින්දුව හිස රදයක් වෙලයි තිබුනේ..මං හිතනවා ඔවුන් කොටුවට යනකං සැනසිල්ලෙ යන්න ඇති කියලා..