Wednesday, May 19, 2010

අපි කිව්වයැ කර ගන්න කියලා...





මේක අපූරු කතාවක් .. මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් ලංකාවෙ වෙයි කියලා..


අද මම කොල්ලුපිටියෙන් බස් එකට නැංගා.. ඔෆිස් ඇරෙන වෙලාවට ඉතිං බස් වල ආසවාදය කියන්න ඕනෙ නැහැනෙ.. ඔන්න මම හිටගෙන සීට් ඇඳි දෙකක අල්ල ගන්න තරම් දහිරිය උපදවා ගත්තා.. බම්බ කිට්ටු වෙද්දි මාස තුනක විතර දරු ගැබක් දරා ගත්ත අවුරුදු 25ක විතර ලස්සන දැරිවියක් බස් එකට නැංගා.. ටිකක් විතර වැස්සත් තිබුණා..
අර "ගැබිණි" සීට් එකේ මුමුණ මුමුණා හිටියා අවුරුදු 35 රේන්ජ් එකේ මහත්තුරු දෙන්නෙක්.. ඔයාලා දැකලා ඇති අර ආචාර පෙළපාලි වල හමුදා භට ඛණ්ඩ ජනාදිපති තුමා ළඟින් යද්දි එක පාරටම බෙල්ල කරකවලා එතුමා දිහාවට හැරෙන්නෙ..අන්න ඒ වගේ දෙන්නම එක සැරේ ජනෙල් වීදුරුව හරහා වැස්ස නරඹන්න පටන් ගත්තා.. මේක ඇය දැක්කා.. ඈට හිනාවක් ගියා...
 
ඒත් මට තේරුණා ඇය ටිකක් අපහසුවෙන් ඉන්න කෙනෙක් බව... ඒත් එක්කම සීට් දෙකක් විතර පස්සෙ කෙනෙක් බහින්න නැගිට්ටා.. ඒ සීට් එක ඈට අල්ල දෙන්න හිතාගෙන මං ටිකක් ඒ පැත්තට හැරුණා.. මං ළඟම හිටිය මැදි වියේ කාන්තාවක් මං ඉඳගන්නවා කියලා ඉස්සර උනා.. ඔය අතරෙ ඇය ගල්කිස්ස උසාවිය ළඟට ටිකට් ගත්තා..


කතාවේ වටිනම වාක්‍යය මට ඇහෙන්නෙ මේ අතරෙ.. මං ළඟ හිටියා කාන්තාවන් දෙදෙනෙක් වාඩි වෙලා.. අවුරුදු 30 ක සහ 40ක වගේ.. කතාවෙන් පෙනෙන්නෙ කුළුපග පුන්චි අම්ම කෙනෙක් එක්ක යන දුවෙක් වගේ.. පුන්චි අම්මා ඇගේ ඥාති දියණියට කණට කරලා කිව්වා "කර ගන්න කියලා අපි කිව්වයැ" කියල...
ඥාති දියණියගෙ උත්තරේ උනේ "අපෝ මමනම් බඳින්නෙ නැහැ" කියලා.. මට කියන්න හිතුනා "උඹ විතරක් නෙවෙයි උඹෙ අම්ම තත්තත් නොබැඳ හිටියානම් උඹ වගේ එළ වැස්සියෝ උපදින්නෙ නැහැ කියලා"..


කොහොම හරි ගල්කිස්ස උසාවියට බස් හෝල්ට් එකක් කළින් අර ඥාති දියණිය කරුණාබර දෑසින් අර ගැබ්බර දැරිවි දිහා බලලා "ඔයා ප්‍රෙග්නන්ට් ද?" කියලා ඇහුවා.. නැගිට්ටා... සීට් එක දුන්නා..

"තෑන්ක් යූ.. මම උසාවිය ළඟ බහිනවා" ඇය කිව්වා..

"කමක් නැහැ ඉඳ ගන්න.. අපිත් ළඟ බහිනවා" ඥාති දියණිය නෙගෝෂියේට් කළා..

ඔවුන් තුන් දෙනාම බස් එකෙන් බැහැලා ගියා..

මට හිතෙනවා මම තාම බස් එකේ යනවද කියලා...

හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.................

Tuesday, May 11, 2010

ඉංදියන් බස් ටිකට්...



මට මේ අද ගාලු පාරෙ ගාටන බස් එකක ටිකට් එක ඇඟිල්ලෙ රෝල් කර කර ඉන්දැද්දි හදිස්සියේ මතක් උනා ඉන්දියාවෙ බස් ටිකට් ගැන.. ඔය ඉහළ පිංතූරෙ තියෙන්නෙ බස් ටිකට් එකක්. මේකෙ සයිස් එක කියනවානම් අඟල් 3-4 ක් විතර දිගයි.. අඟලක් විතර පළලයි... ටිකක් හොඳට බැලුවොත් තේරෙයි පුංචි උනාට තොරතුරු ගොඩක් තියන විත්තිය..


කාටත් තේරෙනවා ඇති මේක රුපියල් 100 ටිකට් එකක් කියලා.. දුර ගමන් බස් එකක..මං ට්‍රයි කළා ලෝකල් එකක් ඩවුන් ලෝඩ් කර ගන්න වැඩේ හරි ගියේ නැහැ...

ටිකට් එකක් කිව්වට හරියට කේන්දරේ කොටු වගේ නේද? ඔය වටේට තියන ඉලක්කම් වලින් කියන්නෙ බස් එකට ගොඩ වෙච්ච හෝල්ට් එකයි බහින හෝල්ට් එකයි..ඒ කියන්නෙ ගමනාරම්භය එක හැටියට ගනන් ගන්නෙ.. වම් පැත්තෙ එන ට්‍රිප් එක.. දකුණු පැත්තෙ යන ට්‍රිප් එක.. පටන් ගත්ත තැනයි අවසාන වෙන තැනයි පන්ච් කරලා දෙනවා.. මේක රජයේ බස් එකක ටිකට් එකක්..
මේ වගේ ටිකට් 100ක් එකට තියලා ගහන ස්ටේප්ලර් කට්ට පේනවාන් නේද?

පුද්ගලික බස් වල කතාව මීට වඩා වෙනස්.. ටිකට් එක මේකෙම ආකෘතියක්.. රජයේ බස් වලට ප්‍රමිතියක් තිබුනට මේවයෙ ප්‍රමිතිය අඩුයි.. හුඟක් බස් ටිකට් ගහලා තියෙන්නෙ අහක දාන හෑන්ඩ් බිල් වල පිට පැත්ත..

මේ බස් ටිකට් විකුණන්න තියෙන්නෙ පාර අයිනෙ තියන බුලත් විට කඩවල.. (සමහර විට දැන් වෙනස්ද දන්නෙ නැහැ. මොකද ඉංදියාව කියන්නෙ සීග්‍රයෙන් සංවර්දනය වෙන රටක්) ඒවා ටික මේ වගේ පුවරුවක ලස්සනට තියාගෙන තමයි ටිකට් කඩන්නෙ.

ටිකට් ඉවර උනාම කොන්දොස්තර හෝල්ට් එකක බැහැලා දුවගෙන ගිහිං අරගෙන එනවා..
මාරයි නේද?

Saturday, May 1, 2010

හිවැනැ... සිතාසියක් ඇවිත්..

මේක මං අහපු කතාවක්.. අපේ අංකල් කෙනෙක් නුවර-කටුගස්තොට ප්‍රදාන පාරෙන් හැරිලා මාවිල්මඩ කියන පළාතට මෝටර් බයිසිකලේක නැගලා යද්දි වෙච්ච වැඩක්..

ඕක අතුරු පාරක් නිසා ට්‍රැෆික් මාමලා එහෙමත් නැහැ.. ඉතිං මේ අංකල්ගෙ බයිසිකලේ ඉස්සරහට මාවිල්මඩ බස් එක ඇවිත් තියනවා අනපේක්ශිත විදියට.. අංකල් බයිසිකලේ කැපුව පාර කෙළින්ම කාණුවට තමයි ලෑන්ඩ් කරලා තියෙන්නෙ.. අංකල් ට සිහි නැති උනා ලු...

ඉතිං කවුරු හරි සත් ගුණවත් මහත්තයෙක් ඉස්පිරිතාලෙට ගිහින් දාලා...
දැං ඔන්න ගෙදර කට්ටිය තෙල් බෙහෙත් පවා කරලා සනීප කරගෙන රස්සාවට යන්න පටන් ගත්තයි කියමුකො.. ඔය, සිද්දියෙන් මාස 3 කට විතර පස්සෙ.. දවසක් ගෙදර එද්දි සිතාසියක් ඇවිත්. හෙතුව කියන තැන "හිවැනැ" කියලා තියනවලු... පස්සෙ හොයලා බැලින්නං "හිස් වැසුම් නැතිව පැදවීම" කියන එක තමයි ඒ තිබිලා තියෙන්නෙ...
 
වෙලා තියෙන්නෙ මේකයි... අනතුර වෙච්චි තැනට ඉස්සෙල්ලාම ළඟා වෙලා තියෙන්නෙ ට්‍රැෆික් පොලිස් මහත්තයෙක්.. ඒ වෙද්දි කවුදෝ හෙල්මට් එක ගලවලා ප්‍රථමාදාර දීලා.. මුළින්ම දුටු දර්ශනයේදි හිස් වැසුම නැතිව දැක්ක නිසා, නඩුවක් නොදමාත් හොඳ නැති නිසා.. "හිවැනැ" කියලා නඩුවක් දාලා..


මං හිතන්නෙ අංකල් දවස් කීපයක්ම උසාවි බඩ ගෑවා මේ අවුල ලිහා ගන්න.. නිකම්ම නෙවෙයි ක්‍රචර්ස් ආධාරයෙන්..